Skip to main content

කුහකයින් කීමට පෙර කියවන්න! ඔබ දැනුවත්ද? By - Anushka Maduranga

 ඔබ එක් පිලකට කඩේ යන අයෙක්නම් මෙය කියවා පලක් නැත! නමුත් කරුණු සහ තර්ක මත දෙයක් තේරුම්ගත හැකිනම් පමණක් මෙය කියවන්න.ඔබ අද වෙනතුරු පැනනැගි සියළු ගැටළු වලට පිළිතුරු සැපයීමට උත්සාහ කරන හෙයින් මෙය තරමක් දිගු වේවි,නමුත් ඔබට ඇත්තටම දැනුවත් වීමට අවශ්‍යනම් ලිපිය දිගු වීම ගැටළුවක් නොවේවි. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය බෞස්තිස්ම වන්නට යන මොහොතක කරුණු හරිහැටි නොදත් අයගේ නොදැනුවත් බව නැති කරනු වස් මෙම සටහන තබමි. මේ සටහන මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන මිස සියලු පුද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහිව නොවන වග සලකන්න!

1.මාලබේ ඇති ප්‍රශ්නය කුමක්ද?
 2.ඕනෑම අයෙකුට වෛද්‍ය වරයෙකු විය හැකිද
3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි? 4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්‍යාල මගහැරෙන සිසුන් හා London Al කරන සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද?
 5.මාලබේ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් කල නොහැකිද?මාලබෙන් ගුණාත්මක වෛද්‍යවරු බිහිවෙයි නම් ගැටළුවක් නැහැ නේද
6.එතකොට වෛද්‍ය වරු පුද්ගලික සේවා කිරීම,දුෂණ කිරීම,අත්වැරදීම නිසා මිනිස් ජිවිත නැතිවීම සාදාරණද?
 7.සාරාංශය

මමද අද වන තුරු මාලබේ ගුණාත්මක කිරීම වසා දැමීමට වඩා සාදාරන වෙතැයි විශ්වාස කල අයෙක් බව මා ගැන දන්නා අය සහතික කරාවි. නමුත් ලංකාව වැනි දුෂිත පාලකයින් සිටිනා රටක,මුදලට සියල්ල විකිනෙන රටක,දේශපාලකයින්ගේ දරුවන් ලේලියන් ඉගන ගන්නා තැනක ගුණාත්මක බව අපේක්ෂා කල නොහැකි බව අද මම දනිමි.මාලබේ ක්‍රියා කලාපය නම් මුදල් හා දේශපාලන බලය යොදවා ප්‍රමිතිකරණ ක්‍රමවේද bypass කිරීම මිස වැරදි අඩුපාඩු සාදා ගැනීම නොවේ .කෙනෙක් තව කෙනෙක්ව කැපුවොත් එය අපරාදයක්,නමුත් වෛද්‍ය වරයෙකු එය කල විට සේවයක්.තව කෙනෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගැනීමේ බලය මුදලට විකිණීමද වඩා සාදාරන නැතිනම් සුදුස්සාට එය ලබා දීමද? මෙය කියවා අවසන් වන විට මාලබේ කිසිදිනක ගුණාත්මක වෛද්‍ය වරු බිහි කරන ආයතනයක් නොවනු ඇති බව ඔබටම වැටහේවි.කෙලින්ම කතාවට බහිමු!

1.මාලබේ ඇති ප්‍රශ්නය කුමක්ද?
එය කඩයක් වීමයි. ඔව් ඔබ එය ඕනා තරම් අසා ඇති, එත් එය ඔබට තේරී නැතිව ඇති. මාලබේ ඇති ගැටලුව නම් ඔබ මුදල් දුන් විට ඔබ වෛද්‍යවරයකු වීමයි.ඔබට ලක්ෂ 120ක් ඇත්නම් ඔබ වසර 5කින් වෛද්‍ය වරයෙක්! ඔබට වාහන මුදල් දී ගත හැකියි,දැනුම මුදල් දී ලබා ගත හැකියි,නමුත් ඔබට රැකියාවක් මිලට ගත නොහැකියි.මාලබේ විසින් අද එයද විකුණයි.හොදම උදාහරණය ඔවුන්ගෙන් පිටවූ පළමු සිසු කණ්ඩායමයි. උසස් පෙලින් ලංකාවේ ඉහලම ලකුණු ලබන 200ක් වූ සිසුන් කොලඹ වෛද්‍ය පීඨයට ඇතුළු වේ.නමුත් ඉනුත් සිසුන් කිහිප දෙනෙකු අවසන් වසර විභාගය re-repeat වේ. එසේ වන්නේ එහි ගුණාත්මක බව එතරම් ඉහල මට්ටමක පවත්වා ගන්නා බැවිනි.උසස් පෙලින් ජීව විද්‍යාව අසමතුන් ඉන්නා SAITM සිසුන් ඉතා ඉහල ප්‍රථිපල ලබන්නේ කෙසේද? ලංකාවේ ඉහලම දැනුම තිබුණු සිසුන් පසුකර යන මහා බුද්දියක් ඔවුන්ට පහල වුයේ මුදල් දුන් විට මොලය වැඩෙන නිසා වෙන්ටැති.
you have to earn it! you can't buy it !

2.ඕනෑම අයෙකුට වෛද්‍යවරයෙකු විය හැකිද?
ලෝකයේ ප්‍රමුකතම විශ්ව විද්‍යාලවල පවා වෛද්‍ය සිසුන් ඇතුලත් කර ගන්නේ අතිශය තරගකාරී විභාග ක්‍රම වලිනි. ඔවුන් high school වල ඉතා ඉහල GPA ලබා pre med පාඨමාලා අවසන් කර මුදලුත් ගෙවා college යයි. ලංකාවේ GPA ක්‍රමය වෙනුවට උසස් පෙළ ඇති අතර ඉනුත් ඉහලම ප්‍රතිපල ලබන අය පමණක් වෛද්‍ය විද්‍යාව නොමිලේ හැදෑරීම සදහා සුදුසුකම් ලබයි.එලෙස අති දක්ෂයන් පමණක් වෛද්‍ය විද්‍යාව සදහා තෝරා ගන්නේ එය එතරම් ගැබුරු විෂයක් හෙයිනි.එය හැදෑරීම සදහා ඉහල මතක ශක්තියක් මෙන්ම තර් ක හැකියාවක්ද අවශ්‍යයි.උසස් පෙළ වසර දෙකහමාරක් තුල ඉගන ගන්නා කරුණු වලට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලයේ එක වාරයක් තුල උගන්වයි.උසස් පෙලින් තුන් වරකදී අවශ්‍ය සුදුසුකම් සැපිරිය නොහැකි අයෙකු ඊටත් වඩා අපහසු විෂයක් ඉගෙනගෙන තවත් මිනිසෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගන්නේ කෙසේද? මෙය කිසිවෙකුගේ දැනුම මට්ටම පහත්කිරීමක් නොව ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමකි.උසස් පෙලින් එම දැනුම සර් ව සාදාරනව මනින්නට බැරිව ඇති,නමුත් ඊට වඩා සාදාරන,ප්‍රයෝගික ක්‍රමයක් නැති හෙයින් අපට විභාග පිළිගන්නට සිදුවේ.වෛද්‍ය විද්‍යාව සදහා පිවිසිය යුත්තේ දක්ෂයින් මිස සල්ලිකාරයින් නොවේ.ඔබට මුදල් තිබු පමණින් තවත් මනුෂ්‍යයෙකුගේ ජිවිතය පිළිබද තීරණ ගත හැකි රැකියාවක් මිලට ගත නොහැක.එය මිනීමැරීමට මුදල් ගෙවා අවසර ගැනීමක් වැනිය!

3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?
මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?

4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්‍යාල මගහැරෙන සිසුන් හා london al කරන සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද?
ඕනෑම දෙයකට තෝරාගත හැකි සීමාවක් පවතී.හරි අපි එක ලකුණක් මදි වන ලමයවත් ගමු විශ්වවිද්‍යාලයට.එතකොට ඒ ළමයටත් වඩා ලකුණක් අඩු ළමයට මොකද වෙන්නේ,අපි එයාවත් ගමුද? අපි කොතනින්ද සීමාව අදින්නේ?ඔබට වාර තුනක් එනම් වසර 5ක් උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාලයකට තේරිය නොහැකි නම් ඔබට වෙනත් මගක් තෝරාගන්නට සිදුවේ.ඔබට එම මග මුදලට මිලට ගත නොහැක.එතකොට London Al ? ඔබට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය නම් ඔබ football පුහුණු වී පලක් නැහැ නේද?ඔබ විදෙස් විෂය නිර් දේශයක් හදාරා දේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට බැරි යයි කීම විහිළුවක් නොවේද ? එසේ වෛද්‍ය වරයෙකු උවද සිංහල කතා කරණ සාමාන්‍ය ජනතාවගේ දුක ඉංග්‍රීසියෙන් කෙසේ තේරුම් ගන්නද?විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා සිසුන් ගණන වැඩි විය යුතුය නමුත් එය පිටින් දමා උපාදි කඩ සාදරනිකරණය කල නොහැක!

5.මාලබේ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් කල නොහැකිද?මාලබෙන් ගුණාත්මක වෛද්‍යවරු බිහිවෙයි නම් ගැටළුවක් නැහැ නේද?
එය සාදාරන ප්‍රකාශයකි.මම කලක් එය විශ්වාස කල අයෙක්මි.නමුත් එය ප්‍රයෝගික ප්‍රකාශයක් නොවන බව ඔප්පු වී හමාරය.එය ඇරබි දින පටන් වෛද්‍ය සභාව හා විද්වත් කමිටු විසින් එහි ගුණාත්මක බවේ අඩුපාඩු පෙන්වා දෙන ලදී,ඒවා නිවැරදි කරගැනීම වෙනුවට ඔවුන් කලේ දේශපාලන බලය හා නිතිය යොදවා ගනිමින් එම නිර්ණායක bypass කිරීමය.ඔවුන්ට බදවා ගැනීමේ පටිපාටියක් නොමැත,විභාග වල හා සායනික පුහුණුවේ ගුණාත්මක බව ඉතා පහලය.දේශපාලකයින්ගේ දරුවන් සිටින ලාබ ලබන ආයතනකින් ගුණාත්මක බව අපේක්ෂා කිරීම විහිළුවකි.එනම් පුද්ගලික ව්‍යපාරයකින් ඉහල ගුණාත්මක වෛද්‍ය වරු බිහි කිරිම සිහිනයක් පමණි. මේ ගැන ටිකක් කතා කරමු.
ඔවුනුත් රජයේ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දෙන අවසන් විභාගය ලියුවම හරිනේ ?
වෛද්‍ය විද්‍යාව යනු එක් විභාගයකින් මැනිය හැක්කක් නොවේ.එය උසස් පෙළ මෙන් නොවේ.වසර පහ මාරක් පුරා වාචික විභාග(viva),රසායනාගාර පරික්ෂා,හදුනාගැනීමේ පරීක්ෂණ(spot test) ගණනාවකට වෛද්‍ය සිසුවෙකු මුහුණ දේ.සායනික පුහුණුවේදී සමහර විශේෂඥ වෛද්‍යවරු වාර 2,3ක් appointment repeat කරමින් සිසුන් අවශ්‍ය පුහුණුව ඇති බව සහතික කරයි.එනම් අවසන් විභාගය ලියන විට සිසුවා අවශ්‍ය ගුණාත්මක බවින් යුක්ත බවට ඔවුන් සහතික වේ.පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් එන සිසුවෙකු එම ගුණාත්මක බවින් යුක්ත බව කිසිවෙකුට සනාථ විය නොහැක.එනිසා එක විභාගයකින් වෛද්‍ය වරයෙකුගේ දැනුම මැනිය නොහැක.මෙය විදෙස් සිසුන්ටද අදාල නමුත් එය වෙනස් කිරීමට දැන් පමා වැඩිය.
එතකොට එක විභාගයක් නොව සියළු විභාග හා පුහුණු රජයේ විශ්වවිද්‍යාල වල ඒවා කළා නම් හරිනේ?අන්න එතකොට නම් වැඩේ හරි තමා,එත් පොඩ්ඩක් ඉන්න! ඒක හරියට රජයේ උපාදිය මුදලට විකිණීමක් වගෙයි නේ!ඇයි අපි ඒ අවස්ථාව මුදලට දෙන්නේ?එය උසස් පෙලින් සමත් අයට දීම වඩා සාදාරන නැත්ද?ඇයි එය මුදල් ඇති අයෙගේ ආභරණයක් කරන්නේ ? අපි මේ ඇවිත් තියෙන්නේ මේක ජනසතු කරන්න ඕනි කියන තැනට නෙමෙයිද?එතකොට අලුත් අධ්‍යාපන අවස්ථාවක් බිහි කිරිමෙන් කොහොමද නිදහස් අද්‍යාපනය නැති වෙන්නේ?මෙන්න මේක තමා ගොඩක් අයට තියන ප්‍රශ්නය.එක වෙන්නේ මෙහෙමයි.saitm ස්ථාපිත වුන දාට තව ආයතන ඇරෙයි.එම ආයතන වල උගන්වන්න ගුරුවරු ඔවුන් පිටරටින් ගෙන්නේ නැහැනේ.පාසලක ගුරුවරයෙකු හදන්න නම් වසර දෙක තුනක් යාවි,එත් වෛද්‍ය වරුන්ටත් ඉගැන්විය හැකි අයෙක් බිහි කිරීම එතරම් සරල නැහැ. සියල්ල මුදලට විකිනෙන සමාජයක ආචාර්යය වරයෙකු වැඩි ප්‍රතිලාබ බලන් රජයේ වෛද්‍ය විද්‍යාල අතහැර ගියොත් අපිට ඔහුට චෝදනා කරන්න බැහැ,නමුත් එදාට අමාරුවෙන් උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයට එන දරුවට මොකද වෙන්නේ? එදාට නිදහස් අද්‍යාපනය කඩා වැටෙයි නේද?අද saitm එකට එරෙහිව ළමයි කරන කියන දේවල් කුහක කම් වගේ ඔබට පෙනෙයි,නමුත් ඔවුන්ගේ අවසන් ඉල්ලීම එය ජනසතු කර වඩා සාදාරන ක්‍රමයකට ළමුන් ඇතුලත් කරගෙන නොමිලේ උගන්වන්න කියන එක නම්, එය කුහක කමක් වන්නේ කොහොමද?

6.එතකොට වෛද්‍ය වරු පුද්ගලික සේවා කිරීම,දුෂණ කිරීම,අත්වැරදීම නිසා මිනිස් ජිවිත නැතිවීම සාදාරණද?
රජයේ සේවා මගහැර පුද්ගලික සේවා කරන නාමික වෛද්‍යවරු රකින්න මම බැදිලා නැහැ.එත් ලක්ෂ 120ක් ගෙවල සේවයට එන වෛද්‍ය වරු දුෂ්කර පළාතකට ඇවිත් නොමිලේ ම සියල්ල කරලා දෙනකම් බලා ඉන්නත් එපා!පුද්ගලික සේවා පිට දාල පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදරනිකරණය විහිළුවක්. හැබැයි මේ ගැනත් හිතන්න. ළමයෙක් ලෙඩ උනාම කිලෝමීටර ගණන් රජයේ රෝහල් හොයන් දුවන් නැතිව ගමේ දිස්පෙන්සරියට යන එක ඔබට වෙන පහසුවක් නෙමේද? ඒ වෛද්‍යවරු තමන්ගේ රජයේ සේවා මුරය වෙලාවේ නෙමේ ඒ බෙහෙත් දෙන්නේ. ඔවුන් තමන්ගේ සේවය ඉටු කරලා ඉතිරි වෙලාවේ පුද්ගලික සේවා කිරීමේ වරදක් මට නම් පෙන්නේ නැහැ.අනික එය ඔබටත් පහසුවක්. එත් saitm එකින් බාල දොස්තරලා බිහි වීමෙන් කාටවත් හොදක් පහසුවක් වෙන එකක් නැහැ! ආ මල් ශාලා හිමියන්ට හැර ! අනික මම දැකල තියන විශේෂඥ වෛද්‍ය වරු සියල්ලම වගේ කෙනෙක් channel කරල ආවම කියන්නේ මගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇතුල් වෙන්න කියල මිසක් එම පුද්ගලික රෝහලේ ඇතුල්වෙන්න කියල නෙමේ.එහෙම කියන අය ඇති නමුත් මම නම් දැකල නැහැ!
එතකොට බේත්?රෙපෝට් පිටින් ගන්න එක? මම නම් දැකල නැහැ වෛද්‍යවරු වෙළද නාමය ලියල බේත් දෙනවා! එහෙම කලොත් ඔබට උනත් පැමිණිලි කරන්න පුළුවන්. රජයෙන් බේත් සපයල නැති උනාම බේතක් පිටින් ගෙන්න කියන එක වෛද්‍ය වරුන්ගේ වරදක් වෙන හැටි මට තේරෙන් නැහැ. අපි රජයේ පරීක්ෂණාගාර දැකල තියන නිසා දන්නවා ඔවුන් දවසකට රිපෝට් කීයක් නිකුත් කරනවද කියල.ඒවා ගොඩක් පමා වෙද්දී හරි, අවශ්‍ය උපකරණ නැත්නම් හරි , පරීක්ෂණයක් පිටින් කරන්න කියනව විනා බලෙන් පරීක්ෂණ පිටින් කරන්න දෙනවා රෝහලේ ගත කරපු කාලෙටම මම දැකල නැහැ. එත් වකුගඩු සායනේදී රෙපෝට් පිටින් අරන් එන්නද ඇහුවම සල්ලි වැඩි වෙලාද පිටින් කරන්න දගලන්නේ අහන දොස්තරලා නම් මම දැක්ක! වැරදි කරන කීප දෙනෙක් නිසා වෛද්‍ය වරුන්ට ගරහන්න එපා! දුෂණත් එහෙමයි.වෛද්‍යවරයෙක් උනත් ඔහු මනුෂයෙක්. ඕනෑම ක්ෂේත්‍රයක නරක මිනිසුන් ඉන්නවා,වාසනාවට වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුයි.එයාලගේ මිම්මෙන් හැමෝම මනින්න එපා! එතකොට අත්වැරදී ? වෛද්‍යවරු කියනෙත් මිනිස්සු,ඕනෑම කෙනෙක් අතින් අත්වැරදී වෙන්න පුළුවන්, නමුත් කිසිවෙක් සිතා මතා රෝගියෙකුට හානියක් කරන්නේ නැහැ,එකයි අද වනතුරු වෛද්‍ය වරයෙකු අත්වරදකට හිරේ ගිහින් නැත්තේ! නමුත් වෛද්‍යවරු ඒ අත් වැරදීම් නොවෙන තැනට හැම වෙලාවේම වග බලා ගන්නවා! එවා පෙන්වා පෙන්වා saitm සාදාරනීකරණය විහිළුවක්.මෙතරම් උගත් බුද්ධිමත් අයටත් වැරදි වෙනවා නම් මුදලට වෛද්‍ය වරු වන අයට ඒවා නොවෙවිද?

7.සාරාංශය
දෙයක් කියවා තේරුම් ගත හැකි කෙනෙක්ට මේ ටික ඇති ලංකාවට පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අනවශ්‍ය ඇයි කියා තේරෙන්න. වෛද්‍ය විද්‍යාව කියන්නේ මුදල් ඇති අයට පමණක් හිමිකම් කිව හැකි සුපෝඛබෝගී ආභරණයක් වීමද සාදාරන? නැතිනම්,නියම සුදුසුකම් ඇති අයට තම හැකියාවෙන් උපාය ගත යුතු සේවාවක් වීමද වඩා සාදාරන? දැන් ආයිත් අහන්න එපා saitm ගුණාත්ම කරන්න බැරිද කියල , බැරි එක තමා අවුල . සෞඛ්‍ය ඇමතිගේ ලේලි එක ඇතුලේ ඉද්දි උසස් පෙළ ජිව විද්‍යාව අසමත් ළමයි එක ඇතුලේ ඉද්දි අපි ගුණාත්මක බව ඕනි කියන එක ප්‍රයෝගික නෑ නේද . මේක ලංකාව නොවැ.ඔබ මාලබේ ගුණාත්මක කරමු කියල ආයිත් පාරක් කියන්න කලින් හිතන්න එය ලංකාවේ ප්‍රයොගිකද කියල. වෙන රැකියාවකට බාල පුද්ගලයෙක් බිහි උනත් ඔහුට වැඩ බැරි බව දැනගත්තම,ඔහුට ඔහුගේ රැකියාව අහිමි වෙයි, එත් බාල දොස්තර කෙනෙක් බිහි උනාම නැති වෙන්නේ තවත් අහිංසක මනුෂ්‍ය ජිවිතයක් .අපි කියන්නේ අද්‍යාපනය සුදුසුකම් ලත් අයට හිමිවිය යුතුයි කියල. සල්ලි කාරයන්ට සුදුසුකම් කෙසේ වෙතත් රස්සාව ගන්න හොර පාරක් තිබිය යුතුද ? අපිට ඔබ සුදු ද කළුද සල්ලි තියනවද වැඩක් නැහැ , ඔබට සුදුසුකම් නැත්නම් ඒ පාර සල්ලි වලට ගන්න ඉඩ දෙන්න බැහැ . අපි අපේ ගමන ඇවිත් ඉවරයි ,අපේ රස්සාවට මේකෙන් ගැටළුවක් වෙන්නෙත් නැහැ ,ඇත්තටම saitm නිසා මේ කෑ ගහන අපිට නම් කිසි හානියක් නැහැ . අපි මේ කෑ ගහන්නේ අපිට පස්සේ එන්න ඉන්න ළමයි වෙනුවෙන් , හොර දොසතරලා ඇවිල්ල නැතිවෙන්න යන මිනිස් ජිවිත වෙනුවෙන් .දෙමාපියන්ගේ දරුවා වෛද්‍යවරයෙකු කිරිමේ සිහිනය විකුණා කන මාලබේ වසා දමමු! share කර අන් අයවත් දැනුවත් කරමු !
saitm ජනසතු කරමු ! සිතීම ඔබට බාරයි! "doctor " you can't inherit it ! you can't buy it! you have to earn it! 

ප.ලි - ඔන්න එකෝමත් එක රටක ක්‍රිකට් කියල ජනප්‍රිය ක්‍රීඩාවක් තිබුනලු. ජාතික කන්ඩායමට ඇතුලු වෙන්න පුදුම තරගයක් ලු තියෙන්නෙ.අවුරුදු ගානක් ඉස්කෝලෙ සෙල්ලම් කරල,ක්‍රීඩා කන්ඩායම් වල ඉදල හොද ලකුනුත් ගහල A සංචිතයෙත් හොදට වැඩ පෙන්වන අයලු ජාතික කන්ඩායමට ගන්නෙ.ඒ උනාට මේ සිස්ටම් එක හරියන්නෑ කියල හිතපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් පටන් ගත්තලු අමුතුම ක්‍රීඩා පුහුනු කරන ආයතනයක්. ඒකට රුපියල් කෝටියක් දුන්නම අවුරුද්දෙන් කෙලින්ම ජාතික සංචිතයට යන්න පුලුවන්ලු. ක්‍රීඩා ඇමති තුමා මේකට ෆුල් සපෝට් ලු. මෙච්චර කල් සුදුස්සාට තැන දුන්න ජාතික කන්ඩායමට ඉස්කොලේ ක්‍රිකට් ගහලවත් නැති උන්ව කෙලින්ම එවන එක අසාදාරනයි කියල ක්‍රීඩකයො පාරට බැස්සලු. උන් මෙහෙම උන් සෙල්ලම් කලොත් සියලු තරග පරදියි කියල පාරෙ කිය කිය යනකොට ක්‍රිකට් වලට අදාලම නැති foot ball ගහන සෙට් එකක් උන්ට හූ කියනවලු.වැඩේ කියන්නෙ මිනිස්සුත් මෙහෙම කියනවලු. උන්ට සල්ලි වලට IPL ගහන්න හොදයි,පේන්නෙ නැත්ද උන් ගෑනු දූශනය කරනව, මීඩියා වලට ඇයි කලින් දැකල නැත්ද කියල බනින්න හොදයි,තව එකෙක් ක්‍රිකට් ගහනවට තියන ඉරිසියාව ,කුහක හැත්ත කිය කිය බනිනවලු.
ක්‍රීඩකයො කොච්චර මිනිසුන්ට කීවත් මුන් ආවම කෙල වෙන්නෙ රටටමයි කියල මිනිස්සු ක්‍රීඩකයොන්ගෙ වැරදි කිය කිය අර වැඩේ හරි කියනවලු.. මේක කියෝන කෙනෙක් අම්මෝ ක්‍රිකට් මැච් එකක් පරදින්න බෑ ඔහොම සල්ලි වලට එන උන් නිසා කියනවලු,හැබැයි එයාම අනික් පැත්තට මිනිස්සු මැරෙන වෙන කඩයක් හරි කියනවලු. මිනිස් ජීවිතයක් වගෙ ඈ ක්‍රිකට් මැච් එකක් නේද ! ඔන්න ඔහොමයිලු අපෙ එවුන්ගෙ ලොජික්..
අනුෂ්ක මධුරංග 
කොලඹ වෛද්‍ය පීඨය 
තෙවන වසර

Comments

Post a Comment

Popular posts from this blog

කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

දශක ගණනාවක සිට අප රටේ නොවිසඳී පැවති ජාතික ප්‍රශ්නයක් නැවත මීතොට මුල්ලේ සිදුවූ ඛේදවාචකයත් සමග සියළුම ජනතාවගේ අවධානය ලබාගැනීමට සමත්ව තිබේ. නිසි කසළ කළමනාකරණයෙන් තොරව විවෘත බිම්වල කුණු කඳු ගොඩගැසීම හේතුවෙන් කටුක අත්දැකීම්වලට මුහුණ පෑමට දැන් අපට සිදුව තිබේ. එනිසා මෙය ජාතික ව්‍යසනයක් සේ සලකා ඊට නිසි විසදුම් සෙවීමට අපට සිදුව ඇත. අනෙක් අතට අප මේ අත්විඳිමින් සිටින්නේ, විද ්වතුන් ගේ දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනු වෙනුවට ඉතාමත් ප්‍රාථමික ක්‍රමවේදයන් උපයෝගී කරගෙන කසළ කළමනාකරණය කිරීමට යාමේ ප්‍රතිඵලයයි. එම නිසා අද දවසේ ජාතික වගකීම වනුයේ මේ සඳහා ජාතික වැඩ පිළිවෙලක් සහිත පුළුල් විද්‍යාත්මක ක්‍රමවේදයක් හා බැඳුණු නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමය. මූලික වශයෙන් මේ කරණු හතර සඳහාවත් අප අවධානය යොමු කළ යුතුවේ. • සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද සොයා යෑම. • කාබනික ඝන අපද්‍රව්‍යවලින් ප්‍රවාහන ඉන්ධන සහ විදුලිය නිපදවීම. • නවීන තාක්ෂණය බැඳුණු කාර්යක‍ෂමතාවයෙන් ඉහළ දේශීය තාක්ෂණය. • කසල කළමණාකරණයට රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු තාක්ෂණය. • නිවෙස්වලින් බැහැර ක...

The Forever Records of Kandy girls' High School

First lady graduate in the island - Priscilla marshall (1898) First lady doctor to obtain the l.R.C.P. & s.(Edinburgh) nelly r. Jardine (1898) First guide company to be formed in sri lanka - (1917) First Brownie Company to be formed in sri lanka - (1918) First Ranger Company to be formed in sri lanka - (1921) First sri Lankan guide captain - Gladys vanderstraaten (1921) First guide in sri lanka to obtain the 'all round cord'- gladys vanderstraaten (1921) First Malay girl to matriculate in sri lanka - moodah chunchie (1925) First Chinese girl to graduate - Dorothy angie (1925) First girl in sri lanka to be awarded the university scholarship - lily fernando (1926) First Kandyan lady graduate and the first to win the 'tripos' of the Cambridge University - soma seneviratne (1927) First girl in sri lanka to be trained in physical education at lady willingdon college - nora perera First sri lankan lady to get a master’s degree in biochemistry...

ශ්‍රී ලංකාවේදී කෙනෙකුට මරණ දඬුවම හිමි උනොත් ඔහුගේ ජීවිතයේ අවසාන දවස් ගෙවෙන්නේ මෙහෙමයි

ලංකාවේ අවසන් වරට පුද්ගලයෙක් එල්ලා මරා ඇත්තේ 1976 ජුලි 23 වැනිදායි. ඒ වැලිකඩදී එල්ලා මරණ ලද ජේ.ඒ චන්ද්‍රදාස  හෙවත් හොඳ පපුවා නම් පුද්ගලයෙක්. එතැන් පටන් අද වනතෙක් වසර 40ක් තිස්සේ එල්ලුම් ගස දිගු නින්දකයි පසු වන්නේ. මේ දීර්ඝ නිහැඬියාව අතරේ උනත් සේයා ඝාතනය,  රීටා ජෝන්ස්  ඝාතනය වැනි අපරාධත් සමග එල්ලුම්ගහේ අවශ්‍යතාවය ගැන විශාල මහජන මතයක් ගොඩනැගුණා ඔබට මතක ඇති. අපරාධකරුවන්ගෙ නින්ද අහිමි කරල සාමාන්‍ය ජනතාව අතර බිහිසුණු කතන්දර මවන්නට එල්ලුම් ගහ සමත් වෙන්නෙ ඒ මගින් මිනිසෙක්ව මරා දමන නිසාම නෙමෙයි. අපරාධකරුවෙක්ට මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ පටන් එල්ලා මරණ තෙක් ගතවන කාලයම ඒ පුද්ගලයාට මරණයටත් වඩා බිහිසුණු අත්දැකීමක් වන නිසායි. එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන මෑත භාගයේදී පවා “ නිදහස දෙන්නේ නැතිනම් එල්ලා මරන්න ” යැයි කියමින්  සිරකරුවන් උපවාස කිරීමට  පෙළඹීමම මේ දුෂ්කර දණ්ඩනය ගැන සාක්ෂි සපයනවා. අපරාධයක් දැක සංවේදීව අමානුෂික අපරාධකරුවෙක් දෙස අපිත් අමානුෂික ඇසකින් බැලීම සාධාරණද නැද්ද? එයට පිළිතුර ඔබේ හෘද සාක්ෂිය විසින් දෙනු ඇත. එල්ලුම් ගහ අකුරට ක්‍රියාත්මක වූ අදින් වසර හතලිහක...